විදැස: අම්මා නම් ඇය අම්මා නම් ඇය | විදැස

අම්මා නම් ඇය

මසක් කුසහොවා දරුවකු වැදූ පමණින් කාන්තාවකට මවක විය නොහැක . දරුවකු මෙලොව බිහිකළ  මොහොතේ සිටම   තම ස්නේහය දරුවා වෙනුවෙන් පුදමින්  දිවි ඇති තෙක් දරුවන් වෙනුවෙන් කැපවී සිටින තැනැත්තිය මව , අම්මා වන්නී ය .

          කුසෙහි දරුවන් නොවැදූවත් උත්තරීතර වූ මාතෘ ස්නේහයක් හිමි මව්වරුන් ලොව ඇත. සියල්ලෝම ගරු කරන  හිස  නමා වදින උතුම් කාන්තාව මව් තුමියයි. ජීවිතයේ අනේක දුක් කම් කටොළු මැදින් සෙනෙහස පුදන්නියද ප්‍රාසාද , මන්දිර යන්හී  දරුවන් තනන්නියද මව වේ .

          අම්මා නමින් අමතන ඇය සතු වටිනාකම මැනීමට මිම්මක් ලොව තවමත් පහළ වී නොමැත . ආදරය, දයාව, කරුණාව තම දරුවාට මෙන්ම අනිත් දරුවන් හටද ලබා දීමට තරම් ඇය නිර්ලෝභීය . මහගම සේකරයන් ප්‍රබුද්ධ කාව්‍ය නිර්මාණයෙහි අම්මා පිළිබද මෙසේ සදහන් කර ඇත .

අඩන විට මා කුඩා අවදියෙහි බඩගිනිව
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් හා මුසු කොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය

තම දරුවා පිළිබද අපරිමිත ස්නේහයක් හිත තුළ දරා සිටින මව නිරතුරු වෙහෙසෙන්නේ දරුවාගේ අභිවෘද්ධිය  වෙනුවෙන් ය .කුස ගින්න දරුවාට දැනෙන්නට නොදී දරුවා පෝෂණය කිරීමට ඇයට වුවමනාය ,  දුගී පැලේ මව තම දරුවන් වෙනුවෙන් කැප වෙන්නා සේම මන්දිර , සැප සම්පත් සහිතව දිවි ගෙවන මව කැප නොවූවත් දෙදෙනාගේම සෙනෙහසෙහි වෙනසක් අඩුවක් කිසි විටකත් සිදු නොවේ .  
කෙසේ වෙතත් ලාංකික ජන සමාජය තුල මාතෘත්වයට  අතිශය පිළිගැනීමක් භක්තියක් ඇත .  රට තුළ සිටින සියල්ලෝම අත මිට සරු වූවෝ නොවෙති . දරිද්‍රතාවය නැමැති කුරිරු වර්ෂාවේ තෙමෙන්නෝ බොහෝයි .. එදා වේල හම්බ කරගෙන දරුවන් පෝෂනය  කරනුයේ කරදර බාධා අවහිරද සමගිනි , ලෙඩක් දුකක් හැදුනත් දරුවා විදින වේදනාවට වඩා වෙදනාවක් ඇය සිතින් ගතින් විදියි .  කෙසේවෙතත් නිවසේ මව මෙය සියල්ල එක සිතින් දරා ගනී . දරුවන් කුසගිනිව හඩන විට  ඇගේ සිත ඊටත් වඩා හඩකින් හඩා වැටේ . මාතෘත්වයේ උදාරත්වය, පරිත්‍යාගශීලි බව යනු එයයි. එහෙත් බොහෝමයක් මව්වරු තම දරුවන් පවුල වෙනුවෙන් දිවි කැප කරද්දී අවාසනාවකට අතලොස්සක් මව්වරු දුක් පීඩා ඉවසාගත නොහී දරුවන්ද සමගින් දිවි හානි කරගන්නට පෙළබෙති මෙය ඉතා මෑතකදී ඇති වූ ප්‍රවණතාවයකි.

මවක යනු ජීවිතයේ අනේක දුක්ඛ දෝමනස්සයන් එක සිතින්  දරා ගන්නා අක්ම්පිත වස්තුවකි .  ඇගේ ජීවිත පරිත්‍යාගය ඇරබෙන්නේ දරුවා කුස තුළට ආ මොහොතේ සිටය . ඇගේ වදන්, කෑම, බීම් , සිතුම් පැතුම් , මේ ආදී සියළුම දේ එතැන් පටන් වෙන්වන්නේ දරුවා වෙනුවෙනි . ඇය දරුවා නළවන මොහොතේදී පවා ගයන නැළවිළි ගීයේ සිටම ඇයත් දරුවාත් අතර  මනා සබදතාවයක් ඇති කර ගනී. රන්බණ්ඩා සෙනෙවිරත්නයන් ඔහු දුටු මව මෙසේ සදහන් කර තිබේ .

දවසක් පැල නැති හේනේ
අක්කාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන  මා
ඔබ තෙමුනා අම්මේ

මෙහිදී ඔහු පැල නැති  හේන ලෙසින් හගවන්නේ   පියා නොමැතිව යන්නයි , මෙහි ඇති සරළ අදහස නම් පියාද  නොමැතිව තමා (මව) තනිවම දරිද්‍රතාවය නැමැති අකල් වැස්සෙන් තම දරුවා බේරාගෙන තමා තනිව සියල්ල එක සිතින් විද දරා ගත් බවයි. මවගේ කැප කිරීම දයබරත්වය සෙනෙහස නිම්හිම් නැති අහසටද සම කළ  නොහැක  . දිවි කතරේ සැරි සරන්නට සහන් එළිය වන මව ජීවිතය දුටු අයුරු සේකරයන්ගේ අම්මා කාව්‍යයෙන්ම මෙසේ උපුට ගනිමි .

‘ නොදත්තෙමි මම එකළ
අම්මේ ඔබේ වත කැටපතක් බව
මෙකළ මා සිත පිළිබිබු කරන
ගිලී යට් ගිය ඇස් කුහර තුළ
නොදුටුව්මි කිසි විටෙක සතුටක්
නොදුටුව්මි කිසිවිටක දුකකුත්
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවද ඔබ සිතෙහී සාමයක්? 
ඉපයූවෙමි මිල මුදල්
ඉපයූව්මි කිතු යසස්
වීය මන්දිර යාන වාහන
එහෙත් ඒ කිසිවකිනුත්
නොලදිමි සිත සැනසුමක්
වටහාගෙන සිටියාද ඔබ ඒ සත්‍යය
නොලබාම ඔබ ඒ කිසිවක් ?’


මවකගේ ඇති දයාබරත්වයෙන් ලබැදියාවෙන් කළ නොහැක්කක් නැත ඒ උත්තරීතර වූත් පූජනීය වූත් වස්තුව රැක ගැනීම දරුවන් සතු යුතුකමකි වගකීමකි එමෙන්ම කෘතගුණ සැළකීමකි.         


0 Comments
Disqus
Fb Comments
Comments :

No comments:

Post a Comment

ඔබගේ අදහසත් එක් කරන්න